Monday, January 19, 2015

පෙම් බඳිමි මම

බලෝබශී ....ඉතා මිහිරි තාගෝර් ගීයකි. මේ එහි අනුවාදයකි

පෙම් බඳිමි
මේ දිය
බිඳී නැගෙමින්
ගයනා මිහිරි ගීයට

පෙම් බඳිමි
වස්දඬුව
ආලය ගැනම වයනා
මේ මිහිරි තාලයට

පෙම් බඳිමි
තරු කැකුලු
අහස් ලය පුරා
අඳිනා රුවැති සිත්තමට

පෙම් බඳිමි
හදවත
රිදී හඬනා ඇසිල්ලක
මුව නැගෙන සිනාවට

ඔකඳ වූ සිත ගයන ගීයට
රළ නගන මහ සයුර
දසත ඇදෙනා මාරුතය
වයයි අම රස සරය

පෙම් බඳිමි - පෙම් බඳිමි
මේ සියල්ලට පෙම් බඳිමි මම

අනුවාදය - සමන්මලී අභයසිරි






Friday, January 9, 2015

ජයතිලක බණ්ඩාරයන් වෙත ....



දකිමින් දුරු කළ යුතු දේ

එදා පටන් අද වනතුරු

රුදුරු ලෝකයක් නසන්න

සොඳුරු අරුම ගී ගයමින්

ඔබේ රුහිරු දාදිය පොද

හෙලා දිනූ අප වෙත ලොව

ඔබේ පැතුම් ඉටුවේවා

හෙට නව අරුණළු සමගින්

අලුත් සිතුම් බිහිවේවා

සොඳුරු මෙබිම එකාවන්ව

අත්වැල් බැඳ සිතුම් සසැඳ

නවමු හෙටක් ගොඩනගන්න

ඔබ සමගයි අප සැමවිට

සමන්මලී අභයසිරි



රජ මැතිඳුන් දැනගතයුතු



ඔබ බලයෙහි රඳවන්නට

ඉන් ගලවා නෙරපන්නට 

හැකි දෙවි නැත රන් දෙවොලක

වැඩ ඉන්නේ ඒ දෙවියන්
 
රට වැසියන් හද තුලමය

ඒ දෙවියන් කෝප නොකර

තුටු කලහොත් පමණි ඔබට

ඒ සිත් තුල රජ කල හැකි





සමන්මලී අභයසිරි