Tuesday, August 5, 2014
හැම්ලින් මී පරපුරේ එකම මීයා මමයි ......
මුළු සනුහරේම
මෝහනය වී
ඇදී ඇදී යද්දී
දිවි නසාගන්නටය
නළා කරුවා
පසු පස
නොගොස් නැවතුණු
හැම්ලින් මී පරපුරේ
එකම මීයා මමයි ......
දෙකන් වසා
ඉන්ටැයි කියා
කීවත් කෙතරම්
ඇසුවේ නෑ උන්
කුම් කරම් මං
නළා නාදයට
වශී නොවුනෙන්
නොනැසී ඉතිරිවූ
හැම්ලින් මී පරපුරේ
එකම මීයා මමයි.....
එක් එක් නළා කරුවන්
වයමින් එතත් ස්වර
මුළා කරවන
බිහිරි වනු ඊට
එයමයි
දිවි රැකෙන මග
නෑසූ කන්ව සිටි
හැම්ලින් මී පරපුරේ
එකම මීයා මමයි.....
මේකත් සුරඟන කතාවක්.
එකෝමත් එක කාලෙක හැම්ලින් කියන නුවර වැසියන්ට මහා වදයක් තිබුණා. මී වදයක්. එහෙම කිව්වට මේ මී මැස්සෝ බඳින වදයක් නම් නොවෙයි. මීයන්ගෙන් විඳින්ට වුණ වදයක්. ගේ දොරද, ගබඩාවන්ද, අටු කොටුද මේ මී වදයෙන් වද වින්දා. මේකට මොනම විසඳුමක් වත් තිබුණේ නෑ. මොනවා කලත් මීයෝ රජ කලා.
එකෝමත් එක දවසක් අපූරු මිනිහෙක් ආවා මේ නගරෙට. උද්දච්ච මූණක් තිබුණේ මේ මිනිහට. නළාවක් එල්ලාගෙන මහ උජාරුවට දිගම දිග අඩි තිය තියා ඇවිදගෙන ගියා. බොහෝ දෙනා ආගිය වතගොත දැනගන්ට කතා බහ කරන්ට හැදුවට මිනිහා නොවේ වචනයක් වත් දෙඩුවේ.
මේ අමුතු නළාකාරයා ගියා නගරාධිපති හමුවෙන්න නගර ශාලාවට . හතර අතේම මීයෝ දුවන රතු පාට තිර ඇදපු කිළිටි කාමරේ තඩි බඩක් ඇති නගරාධිපති ඉඳගෙන උන්නා විසාල පුටුවක.
"මට පුළුවනි මීයෝ වනසන්න" නළාකාරයා කීවී කිසිම ගරුසරුවක් නැතිව.
"මොකක් කිව්වා මෙච්චර කල් කාටවත් බැරිවුණ එක නළාකාරයෙක් කොහොම කරන්ටද? අනේ නිකං යනවා යන්ට."
" ඕනෑ නැතිනම් මගේ සේවය මම යනවා යන්ට" නළා කාරයා කීවා.
නගරාධිපතිගේ ලියන්නා රහසේ යමක් කීවා නගරාධිපතිට. හිස සැලුව නගරාධිපති මෙහෙම කිව්වා. " ඔහොම ඉන්නවා - එහෙනම් ඔහේ කරලා පෙන්නනවා ඔය හපන්කම."
"නිකම්ම බෑ" නළා කාරයා කිව්වා. ඉල්ලා හිටියා බොහෝම වටිනා තෑග්ගක්.
" හොඳයි දෙන්නම් හැබැයි නසන්ට ඕනේ මීයන් එකෙක් නෑර" මෙහෙම කීව නගරාධිපති.
නළා කාරයා පිඹින්න ගත්තා නළාව - එහෙන් මෙහෙන් වටින් ගොඩින් කොයි ලෝකෙන් ආවද මන්දා මෙහෙම මී සන්නිපාතයක්. සේරම මීයෝ නළාකාරයා ගේ පස්සෙන්ම ඇදෙනවා. හපොයි එහෙම මී ගඟක්!
නළා කාරයා නළාව පිඹගෙනම ගියා ගඟ අද්දරට. නැගුණා ඔරුවකට. සේරම මීයෝ පැන්නා ගඟට නළා හඬින් මෝහනය වෙලා. අනේ අපොයි එහෙම දිවි නසාගැන්මක්!
ඒ කොහොම උණත් මේ ගහණයේ හිටියා මහ දඩබ්බරයෙක්. මුල ඉඳන්ම කිව්වා කන් වහගනිල්ලා. ඔය මිහිරි හඬට ඇහුම්කන් දීලා ඒ පස්සේ ගියොත් විනාශය තමයි කියා. කිව්වට අනිත් උන් ඇහුවේ නෑ. මේ ඒ මෝහනීය හඬට ඇහුම් කන් නොදුන් මීයාගේ කවියයි.
සමන්මලී අභයසිරි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment