Friday, May 22, 2015

කුඹුක් හෙවණ








මා නැරඹූ සිංහල චිත්‍රපට අතුරින් රූප රාමු සමගම මසිතෙහි රැඳී ඇති චිත්‍රපට කිහිපයකි. ඉන් පළමු තැන ගන්නේ හඳයාය. වගීකරණයෙන් වැඩිහිටියන්ට පමණයි යන වර්ගයට අයත්වූ බොහෝ සම්භාව්‍ය නිර්මාණ නිපදවන්නන් හා තරහවක් ඇතිව සිටි කාලයකි එය. ඒ මම ඒ දවස්වල පොඩිහිටියෙකු වූ බැවිනි. හඳයා එන්නේ ඒ කාලයේය. ටයි මාමා තරම් ආදරණීය සිනමාකරුවෙකු අපට නොවීය. රූපවාහිණියෙහි ඔහු කල කී දෑ නිසා ඒ ආදරය තවත් වැඩිවිය. 



සිඟිති ලොවේ සුරතල් හඳයා
සිහින රටේ සිට ආ හඳයා
ළපටි සිතුම් හඳුනන්න හඳයා
අදත් හෙටත් හිනැහෙයි හඳයා....

හැබෑවට හඳයා තාමත් අපේ හිත්වල දුව පනී. 

මෙන්න හඳයා ඇවිල්ලා.....!



හඳයා චිත්‍රපටයේ මගේ ප්‍රියතම ගීයයි ඒ.

වඩා වැඩි යමක් නොතේරෙන අයිස් චොක් කන්නට සිනමා ශාලාවට යන ඒ කාලයේ වුව නැරඹූ ළමා චිත්‍රපට නොවූවත් මා අතිශයින් ප්‍රිය කරන රූප දුටු තවත් චිත්‍රපටයකි අහසින් පොළොවට. අදටත් එහි කතාව ගැන මතකක් නොවූවත් ශ්‍රියාණි අමරසේන හා වසන්ති චතුරාණිගේ සුන්දරත්වය එදා දුටු අයුරින්ම සිතේ පවතී.



අහසින් පොළොවට කෙතරම් සොඳුරුදැයි විඳින්න මේ ඉන් විනාඩි කීපයක් 

හද පාරන මාරුතයේ 
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි......

අහන්න උපුල් නුවන් විදහා



තවත් එවන් සොඳුරුතම රූප අදටත් යළි යළිත් ගෙන විඳින අපූරුම චිත්‍රපටයක් වසන්තේ දවසක්.

" මේ ටොෆිය හරි රසයි" 
" කියන්න ඒක මොන රසද?"
"කොහොම කියන්නද ඒක? ආ එහෙනම් මෙන්න ඔයාටත් එකක්"

විඳලාම බලන්න වසන්තේ දවසක් .....

දේදුන්නෙන් එන සමනලුනේ
ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ 
රෑන් රෑන් ඇවිදිල්ල
අපේ ලඟින් ඉඳහල්ලා.....



මේ වාගේම සොඳුරු දසුන් හා මිහිරි ගී සමග මහත් රස කැටි කල චිත්‍රපටයකි මොණරතැන්න. ගුවන්විදුලි කනට වඩා රූපවාහිණී අඟ ලොකු වෙන්නට කලින් අපි ගුවන් විදුලියේ විඳි මොණරතැන්නෙන් මැවුණු චිත්ත රූප හැබෑ කල අපූරුවයි මේ.

එන්න මේ අතිශයින් රොමෑන්ටික් කුඹුක් හෙවණට



මේ හැම චිත්‍රපටයක්ම කළු සුදු, නමුත් ඒ ඉන් මැවුණ රස විචිත්‍රයි අපූරුයි. 

මේ සියලු රූප රාමු අතරින් කිසි සේත් අමතක නොවන තාමත් මතකයට එනවිට ඇසට කඳුලු එන එක් රූප රාමුවකි. ඒ 'සරුංගලේ' චිත්‍රපටයේ අවසාන දර්ශන පෙළයි. මතක් කරගන්න ඔබටත් මතක නම් 'සරුංගලේ' නඩරාජා මහත්තයා. 

ඔබත් විඳින්න මේ මා ප්‍රියකරන ගී ගොන්නෙහි මුදුනින්ම ඇති 

ඉසුර දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි...



රටක් හදන්නට නම් එහි වසන්නෝ හැදිය යුතුය. සදාචාරයක් විනයක් නැති රට වැසියන් වසන රටක දියුණක් කෙසේ පතන්නද. මෙවන් අපූරු රස භාව මවන නිමැවුම් - චිත්‍රපටයක පමණක් නොවේ ගීයක වුවද අද දැකිය හැකිවෙද ? එන්න එන්නම පිරිහෙන සමාජයක තතු කියැවෙන්නේ එහි පවතින කලා රසය යැයි මට සිතේ. සරුංගලය හදවතින් විඳි හදක ජාතිවාදයක් හටගත හැකිද? දේදුන්නෙන් එන සමනලුනේ විඳි කෙනෙකුට ගැහැණියකට අතවර කල හැකිද ?

අප කලා කාන්තාරකරණයකට ලක්වෙමින් සිටිතැයි මට සිතේ.


සමන්මලී අභයසිරි

Wednesday, May 13, 2015

ජීවිතය




හිමිදිරිය සොඳුරුයි 
නවමුයි පිවිතුරුයි
නොදනී අරුණ
දවස ගෙන එන පිරිපත

මද්දහන ග්‍රීෂ්මයි
වෙහෙසයි ව්‍යාකූලයි
අරුණ නොම දුටු අරුම
පළ වෙයි දහවලක

ගොම්මන නන් වණින් සැදෙයි
එළිය යයි අඳුරට ඉඩ සදයි
මතක සියොතුන් කැඳවා 
පිරික්සයි අරුණ හා දහවල

රාත්‍රිය සීතලයි නිහඬයි 
එනමුත් බොහෝ දේ දනියි
බැඳුම් ගිලිහුම් සැමරුම් මැද
දුක දකී නික්මනක


සමන්මලී අභයසිරි


යළි එන්න




සඳ දෑත් දිගුකොට
දියරැළි පිරිමදින 
මේ මිහිරිතම රැයේ
මිහිර මා වෙත එන්න
රැගෙන අප පෙර මතක
කොඳ මල් මකරන්ද තැවරූ පිණි
මුදුව දෙකොපුල් සිඹින
මේ සුසුවඳ රැයේ
මිහිර මා වෙත එන්න
කඳුලක රැඳී නෙතු මත
කන්කලු මියුරු මියැසිය
පෙම්වත් රෑසියන් ගයනා
මේ අමයුරු රැයේ
මිහිර මා වෙත එන්න
විරහා ගී සරයෙක
නඳුන් උයනෙහි සිරි අසිරි
මැවෙද්දී ලකල් තුසිතය
මේ සිහින රාත්‍රියේ
මිහිර මා වෙත එන්න
මා වෙතින් රැගෙන ගිය
ජීවිතය ගෙන එන්න

සමන්මලී අභයසිරි

Friday, May 8, 2015

මී මැසි



කිවිඳුනි ඔබේ කවියෙහි
පෙම්වත් බඹරිඳු නොවෙමි
මෙහෙකාර මැස්සෙක්මි
මධු සොයා මලට යන

කෙසේ පෙම් බඳින්නද
මල් කුමරියන් හට  මම
අකැප දා මැස්සියකටම
වුව සෙනේ පුදන්නට

පෙම්සුව විඳින්නට හැකි
රජ මැසි මැස්සියන් හට පමණි
වහලුන් වන අප සොයා එන මධු
උන්ගේ පැටවුන් තනනු පිණිසය

සමන්මලී අභයසිරි

කුවේණි නොවෙමි



තඹ පැහැ වැල්ලෙහි වැතිර
සාපිපාසාවෙන් පීඩීතව
ගිලන්වී අවුරැසින් දැවී මිලිනවු
අයෙක් දුටුවෙම් වෙරළත

සයුරු මැද සැඩ සුළං වැද
බිඳුණු නෞකාවක නැවියෙක්
නොදන්නා මුත් වතගොත
සරණ වූයෙම් දයාවෙන්

නසා සුන් කොට ලේ බැඳුම් හැම
මාපියන් නෑසියන් අතහැර
කිරුළු සිහසුන් පුදා සෙනෙහෙන්
මගේ විජිතය ඔහුට දුන්නෙම්

රජ කිරුළු පැළැඳි හිස
ගලක් කල නියාවෙකි ඔබ හද
මා මෙන්ම ඔබ ලෙයද
පළවා හරින්නට වාසලින් අද

මේ මගේ විජිතයයි
හැර නොයමි නොහැර ඉමි
අනෙකෙකුට දී දිනුම
මියෙනු යෙහෙකියි සටන් වැද

සමන්මලී අභයසිරි

My soul mate


You may have walked beside me
along in a long way
for eons 
our paths may have crossed
sometimes more timely than others
yet I know we are just one
one divided into two
parted only to meet again
Alas ! this time untimely
So let us part now
to meet again 
and never to part
to be one 

Samanmalee Abayasiri

තණ්හාවට එරෙහිව මරණය




එකම අක්කරයක් දෙන්නට බැරිද මට"
ඉල්ලා සිටියි මරණය
මහ යායක් හිමි තණ්හාවෙන්
"නොදෙමි එක අඟලක්"කීය තණ්හා.

උදුරා" ගති මරණය මුළු පෙරදිගම
එද නොපරදී මාන්නක්කාර තණ්හාව
තැනුවේ බලකොටුව අවරදිග
එතැනින් නිමා විය ගැටුම.

අනුවාදය - සමන්මලී අභයසිරි



Said Death To Passion - Poem by Emily Dickinson
======================================

Said Death to Passion
'Give of thine an Acre unto me.'
Said Passion, through contracting Breaths
'A Thousand Times Thee Nay.'

Bore Death from Passion
All His East
He - sovereign as the Sun
Resituated in the West
And the Debate was done.

Emily Dickinson

Wednesday, May 6, 2015

නවමු ගී එකතුවක්

කාල අවකාශ මාන ඔස්සේ මුණගැසෙන උදවිය එකිනෙකා කෙරෙහි නන් බැමි වලින් බැඳෙත්. සයිබර් අවකාශයද එවන් තව මුණගැසුම් වලට මග පාදන මානයකි. සත් සමුදුරෙන් එපිට පැය 12ක වෙනසකින් ඈත මෑත සිටින Manel K R Fernando නැතිනම් මා දයාබර මානෙල් අක්කා මට මුණගැසුණේ මේ අවකාශයේ සරද්දීයි. ඈ මට මුලින්ම මුණ ගැසුනේ ගීයක වරුණ සමූහයේයි මට මතක හැටියට ඒ 2013 වසරේ විය යුතුයි. ඇගේ හඬින් ගැයුණු මා ඇසූ මුල්ම ගීය සුනිල් එදිරිසිංහයන්ගේ "රණවරා ගහේ මල් පිපෙන කාලෙට" ඉන්පස්සේ "බලෝ බශී" බෙංගාලී ගීය - මිහිරට ගී ගයන්නට ඈ බාලිකා කල පටන් හපනියක් බව මට දැනගන්නට ලැබුණා.

මානෙල් අක්කා පහුගිය දුරුත්තේ ලංකාවට ආවේ මා කිසිදා විඳ නැති නමුත් බොහෝ පෙම් බඳින සරත් සමයේ සිහිවටන රැගෙනයි. නමුත් ඈ දකින්නට මට යන්නට මට ඉඩක් ලැබුණේ නෑ. හැබෑවට රුවින් නොදුටුවත් හිතින් හඳුනන බොහෝම ලෙංගතු මානෙල් අක්කා ලංකාවට ආවේ අපට තව යමක් දෙන්නටයි. ඒ ඇගේ හඬින් ගැයුනු ඉමිහිරි ගී එකතුවක්.

එකිනෙකට වෙනස්ම පදවැල් හා ගැයුම් අපූරුයි. ඒ එකිනෙක විඳිමින් ඈ ගැන යමක් ලියන්නට පෙරුම් පිරුවේ බොහෝ කල් සිටයි.

 මේ මානෙල් අක්කාගේ ගී එකතුවෙහි ගී කිහිපයක්. අසන්න, විඳින්න මේ මිහිර....


බිඳී අත්වැල





බේරේ තොටියා



සරා සඳ ඇවිත්...!


පහන් දැල්වී තියේවා...!