Friday, May 22, 2015

කුඹුක් හෙවණ








මා නැරඹූ සිංහල චිත්‍රපට අතුරින් රූප රාමු සමගම මසිතෙහි රැඳී ඇති චිත්‍රපට කිහිපයකි. ඉන් පළමු තැන ගන්නේ හඳයාය. වගීකරණයෙන් වැඩිහිටියන්ට පමණයි යන වර්ගයට අයත්වූ බොහෝ සම්භාව්‍ය නිර්මාණ නිපදවන්නන් හා තරහවක් ඇතිව සිටි කාලයකි එය. ඒ මම ඒ දවස්වල පොඩිහිටියෙකු වූ බැවිනි. හඳයා එන්නේ ඒ කාලයේය. ටයි මාමා තරම් ආදරණීය සිනමාකරුවෙකු අපට නොවීය. රූපවාහිණියෙහි ඔහු කල කී දෑ නිසා ඒ ආදරය තවත් වැඩිවිය. 



සිඟිති ලොවේ සුරතල් හඳයා
සිහින රටේ සිට ආ හඳයා
ළපටි සිතුම් හඳුනන්න හඳයා
අදත් හෙටත් හිනැහෙයි හඳයා....

හැබෑවට හඳයා තාමත් අපේ හිත්වල දුව පනී. 

මෙන්න හඳයා ඇවිල්ලා.....!



හඳයා චිත්‍රපටයේ මගේ ප්‍රියතම ගීයයි ඒ.

වඩා වැඩි යමක් නොතේරෙන අයිස් චොක් කන්නට සිනමා ශාලාවට යන ඒ කාලයේ වුව නැරඹූ ළමා චිත්‍රපට නොවූවත් මා අතිශයින් ප්‍රිය කරන රූප දුටු තවත් චිත්‍රපටයකි අහසින් පොළොවට. අදටත් එහි කතාව ගැන මතකක් නොවූවත් ශ්‍රියාණි අමරසේන හා වසන්ති චතුරාණිගේ සුන්දරත්වය එදා දුටු අයුරින්ම සිතේ පවතී.



අහසින් පොළොවට කෙතරම් සොඳුරුදැයි විඳින්න මේ ඉන් විනාඩි කීපයක් 

හද පාරන මාරුතයේ 
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි......

අහන්න උපුල් නුවන් විදහා



තවත් එවන් සොඳුරුතම රූප අදටත් යළි යළිත් ගෙන විඳින අපූරුම චිත්‍රපටයක් වසන්තේ දවසක්.

" මේ ටොෆිය හරි රසයි" 
" කියන්න ඒක මොන රසද?"
"කොහොම කියන්නද ඒක? ආ එහෙනම් මෙන්න ඔයාටත් එකක්"

විඳලාම බලන්න වසන්තේ දවසක් .....

දේදුන්නෙන් එන සමනලුනේ
ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ 
රෑන් රෑන් ඇවිදිල්ල
අපේ ලඟින් ඉඳහල්ලා.....



මේ වාගේම සොඳුරු දසුන් හා මිහිරි ගී සමග මහත් රස කැටි කල චිත්‍රපටයකි මොණරතැන්න. ගුවන්විදුලි කනට වඩා රූපවාහිණී අඟ ලොකු වෙන්නට කලින් අපි ගුවන් විදුලියේ විඳි මොණරතැන්නෙන් මැවුණු චිත්ත රූප හැබෑ කල අපූරුවයි මේ.

එන්න මේ අතිශයින් රොමෑන්ටික් කුඹුක් හෙවණට



මේ හැම චිත්‍රපටයක්ම කළු සුදු, නමුත් ඒ ඉන් මැවුණ රස විචිත්‍රයි අපූරුයි. 

මේ සියලු රූප රාමු අතරින් කිසි සේත් අමතක නොවන තාමත් මතකයට එනවිට ඇසට කඳුලු එන එක් රූප රාමුවකි. ඒ 'සරුංගලේ' චිත්‍රපටයේ අවසාන දර්ශන පෙළයි. මතක් කරගන්න ඔබටත් මතක නම් 'සරුංගලේ' නඩරාජා මහත්තයා. 

ඔබත් විඳින්න මේ මා ප්‍රියකරන ගී ගොන්නෙහි මුදුනින්ම ඇති 

ඉසුර දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි...



රටක් හදන්නට නම් එහි වසන්නෝ හැදිය යුතුය. සදාචාරයක් විනයක් නැති රට වැසියන් වසන රටක දියුණක් කෙසේ පතන්නද. මෙවන් අපූරු රස භාව මවන නිමැවුම් - චිත්‍රපටයක පමණක් නොවේ ගීයක වුවද අද දැකිය හැකිවෙද ? එන්න එන්නම පිරිහෙන සමාජයක තතු කියැවෙන්නේ එහි පවතින කලා රසය යැයි මට සිතේ. සරුංගලය හදවතින් විඳි හදක ජාතිවාදයක් හටගත හැකිද? දේදුන්නෙන් එන සමනලුනේ විඳි කෙනෙකුට ගැහැණියකට අතවර කල හැකිද ?

අප කලා කාන්තාරකරණයකට ලක්වෙමින් සිටිතැයි මට සිතේ.


සමන්මලී අභයසිරි

No comments:

Post a Comment