Maya Angelou කිවිඳියගේ And Still I Rise කවෙහි අනුවාදයකි.
අමිහිරි මුසා බස් ලියනු ඇත නුඹ
පුරාවෘත්ත පුරාවට කුදු
ලෙස දක්වන්ට මා
කසල මතින් පොළොවෙහි නුඹ
මා පෙරළා ඇදගෙන යනු ඇතිය
එද දූළි වළාවක් සේම යලි නැගෙමි
මගේ ප්‍රමෝදය ඔබට නොරිසි ද
මන්ද නුඹ වත අන්ධ අඳුරකි
පිළෙහි තෙල් නිධි උනන
මහා ධන කුවෙරයෙකුගේ සොබා
දකීදෝ ඔබ මා වෙතින්
බැස ගියත් නැගෙනා හිරු සඳු ලෙසට
සයුරු තෙර වඩ දිය බා දියද ලෙස
පැතුම් රළ උස්ව නංවමි යලි නැගෙමි
නුඹ හිත තුටු වේද දුටුවොත් මා පරාජය
උරහිස් කඳුලු කැට මෙන් ඇදී
හිස නැමී නෙත් බිමට යොමු කොට
දුබල දුක් හඬ නගමින් පසුබසින මා
දකිනු රිසි නොවෙද නුඹ
හිස නගා මා යන උදාරම් ගමන
ඔබ නෙතට අනිනා යවුල් වෙද
ගෙපැලෙහි රන් නිධි මතුවෙනා අයෙකු සේ
නිති තුටින් ඉපිලෙනා මුව සිනා නොමැකෙනා මා වත
දරන්නට බැරි දුක් ගෙනේදෝ නුඹ හට
වදනින් එවා හී සර නුඹ මා වනසත් ද
ක්‍රෝධ ගිනි අවුලුවා මා පුලුස්සන මුත් නුඹ
දෑස් කඩු තුඩු වලින්ද සිඳලුවත් මගේ හිස
එද වාසුළියක් සේම යළි නැගෙමි
මා නෙතෙහි අනුරාගය පීඩාවක්ද
අරුමයක් වන නිබඳ නුඹ හට
මගේ තුටු රැඟුම් දැක නුඹ නොසිතුවෙද
දියමන්ති මණි මේඛලා පැළඳියෙකු යැයි මා
නින්දා සහගත ඉතිහාසය නම්
අඳුරු කුටියෙන් මිදෙමි යලි නැගෙමි
උස්ව නැගි තුරක් වන් රුදුරු අතීතය පෙරළා
වේදනා මුල් සිඳිමි යලි නැගෙමි
රළ නගන ගැඹුරු කළුවන් මුහුදක්මි මම
මහ හඬින් හඬමි විසල් වෙමි වඩදිය සදමි
අඳුරු රෑ රුදුරු බව දුරුකරමි යලි නැගෙමි
දසත එළි කරන සොඳුරු අරුණෝදය සේම
රන් හිරු සේම රැස් ගෙනෙමි යලි නැගෙමි
මුතුන් මිත්තන්ගේ දායාද ගෙන නැගෙමි
වහල් නෙත් මත නිවහල් පැතුම මම වෙමි
යලි නැගෙමි
යලි නැගෙමි
යලි නැගෙමි
මම.
සමන්මලී අභයසිරි
No comments:
Post a Comment