Sunday, February 8, 2015

අසිරිමත් ලඳක් වෙමි


Maya Angelou කිවිඳියගේ Phenomenal Woman නම් කවෙහි අනුවාදයකි

අභිරූපිකාවක් සේ හැඩ නැති
බුහුටි සුකුමාර රුවක් නැති
මවෙත ඇති
සිත් අදින රහස කිම
විමසති රූ ලන්දු
කියන්නෙමි මම මෙලෙස
එද විස්මයෙන් නොඅදහති
මා කියන්නක් උන්
ඒ අසිරිමත් රහස ඇත්තේ
මා විහිදවූ දෑතෙහිය
තුරඟ ලීලා පානා මා ගමනෙහිය
දෙතොල් හකුලා මවන ඉඟියෙහිය
මා පුළුල් වටොරෙහිය
ලඳකි මම - අසිරිමත් ලඳක් වෙමි
සිත් බඳින.....
පිරිසක් මැදට පිවිසෙමි
සන්සුන් සිතින් 
දකින්නට ඔවුනතර අයෙක්
අනෙක් උන් මුව අයා දණින් වැටෙති
රොද බඳිති මා වටා 
මීයක් අසම සරනා මීමැස්සන් මෙන්
කිමද මේ අරුමය හැබෑටම 
අසන උන් හට කියමි
ඒ රහස ඇත්තේ
ගිනි විදින මා නෙත්සරෙහි බව
දසන් විහිදන කාන්තියේ බව
ඉඟ සුඟ ලෙලවුමෙහි බව
තුටින් පායුග පානා දඟෙහි බව
ලඳකි මම - අසිරිමත් ලඳක් වෙමි
සිත් බඳින.....

බොහෝ පිරිමින්ද විමසති
ඔවුන් මා තුළ දකින අසිරිය කිමැයි
බොහෝ තැත් දැරුවද නොදකී උන්
මා තුළම ඇති මෙවන් අරුමය
පහදා දුන්නත් නොතේරේ එය
එනිසා කියමි මම
ඒ රහස ඇත්තේ
මා ගතෙහි සුමට නැම්මෙහිය
හිරු සදිසි ඉනා සිනාවෙහිය
තුනුසපුව නැලැවෙන ලතාවෙහිමය
මනරම් කෝල ලීලාවෙහිය
ලඳකි මම - අසිරිමත් ලඳක් වෙමි
සිත් බඳින.....
වැටහුණිද දැන් ඔබට
මා හිස නොනැමෙන්නේ කිමැයි
මහ හඬ නගමින් මැත දෙඩුම් අනවැසිය
මා ඔබ අසලින් පියමනින විට
අභිමානයක් ඔබේ සිත වැඩෙන හේතුව
කියමි මම
ඒ රහස ඇත්තේ
මා පාවහන් නගන රිද්මයෙහිය
රැළි කැරළි ඇති වරළෙහිය
මා අත්ල මත ඇඳි රේඛාවෙහිය
මා වෙතින් ලබනු රිසි ආදර සංග්‍රහයෙහිය
මන්ද මා ලඳක් බැවිනි
අසිරිමත් 
ලඳකි මම - අසිරිමත් ලඳක් වෙමි
සිත් බඳින.....

සමන්මලී අභයසිරි




Pretty women wonder where my secret lies.
I'm not cute or built to suit a fashion model's size
But when I start to tell them,
They think I'm telling lies.
I say,
It's in the reach of my arms
The span of my hips,
The stride of my step,
The curl of my lips.
I'm a woman
Phenomenally.
Phenomenal woman,
That's me.
I walk into a room
Just as cool as you please,
And to a man,
The fellows stand or
Fall down on their knees.
Then they swarm around me,
A hive of honey bees.
I say,
It's the fire in my eyes,
And the flash of my teeth,
The swing in my waist,
And the joy in my feet.
I'm a woman
Phenomenally.
Phenomenal woman,
That's me.

Maya Angelou

No comments:

Post a Comment