Thursday, May 29, 2014

ඉන්ද්‍රජාලිකයෙක් සිය බිරින්දෑ සමග.....




දුටුවෙමි ඉන්ද්‍රජාලිකයෙක් මහමග
සිය බිරින්දෑ සමග
පොඩි උන් පුදුමයෙන් පුම්බන අරුමදේ පෙන්නන
ඇස්ගෙඩි මහත් කරවා මුව අයා ඉන්දන
සිඟිති නෙත සිත කුල්මත් කරන
ඉන්ද්‍රජාලිකයෙක් සිය බිරින්දෑ සමග......

අතේ ඇති යශ්ඨියෙන්
මවයි පරෙවියෙක් සුදු ලේන්සුවකින්
පාට පාට කඩදාසි දමා කළු තොප්පියට
සේද  සළුවක් මැව්වනේ ලස්සනම
ඒ විතරක්යැ හලා වීදුරුවක් කිරි
මැව්වේ හා පැටියෙක් කිරි පාට
ඉන්ද්‍රජාලිකයෙක් සිය බිරින්දෑ සමග......

ඉල්ලා රුපියල් දහයේ කොලයක්
අහෝ පුදුමයි !
මැව්වා ඒ වගේ දහයක්
පෙන්නා නොයෙක් විස්කම් දුන්නා
දරුවන්ට ගෙනා පොඩි රස කැවිලි
දෙන්නා අකුලා කලමනා
මිදුනා දිස්නේ දුන් ආයිත්තමින්
යන්න වෙන්නැති ගෙදර නැගුණා බසයකට
ඉන්ද්‍රජාලිකයෙක් සිය බිරින්දෑ සමග......

ජීවිතේ සැඳෑවේ දුබල ගත වෙහෙසය
විඩා නිවනට දිනක් කවදා කෙසේ ඒවිද
අත නොහැර සුරත රැඳි අත
යා යුතුය ඉදින් දිගටම දිගු ගමන
මවමින් මායාව - තත්වූ යථාවක
ඉන්ද්‍රජාලිකයෙක් සිය බිරින්දෑ සමග......



සමන්මලී අභයසිරි

No comments:

Post a Comment