Sunday, March 23, 2014

සංක්‍රමණික පක්ෂියා සහ ආවේණිකයා අතර සංවාදය



පසමිතුරු ශිශිරය ගෙවා ගන්නට දැඩි ශීත සෘතුවක් ඇති පෙදෙස් වලින් බොහෝ දුර කතර ගෙවා මෙහි පැමිණෙන පක්ෂීන්ගෙන් මේ දිනවල දිවයින වඩාත් අලංකෘත වී ඇති බව පෙනේ, මා දොරකඩ රඟනා නීල පෙඳ බිඟු හරයෙකි, තැන් තැන්හි දකින සුදු රෙදි හොරුන්ය, විසල් තෙත් බිම් රෝස පැහැකරන සියක්කාරයින්ය. මේ සියල්ලෝ ඈත හිමාලය හෝ සයිබීරියාව වැනි පෙදෙස් වලින් මෙහි පැමිණෙති. මොවුන් දැන් යන්නට ලඟය. සිතට දුකක් දැනේ. එයින් මතුවූ කවි සිතිවිලියි මේ.

මේ සියොත් රූ යසනාත් ධම්මික බණ්ඩාරයන්ගේ කාචයෙන්



රුදුරු ශිශිරය දරණු නොහැකිව
ආවේම්ය හැර දමා ගම් බිම්
වසන්නට මේ සොමි ගුණෙන්
සැදි සුවැති මිතුරුවු දිව කරා

සෑමදා මෙහි වසන්නෙකි මා
නිබඳ සොඳුරු වූ බිම මගේ
හිරුද පායයි සුවැති පවනයි
වසන්තය මැයි සැම දිනේ

මල්ද  ඵලයෙන් සුසැදි තුරු පෙල
අපූරුයි හරිතයි වනේ
සිසිල් මද නල නිවන ගෙන එයි
ගිම් දැරූ දිගු සැරිසරේ

අන් දෙසින් ආ නමුදු මේ බිම
සුව සදයි ඔබටත් අනේ
ඉන්න අප හා තුටින් මෙහි දැන්
නොයන් ආයෙත් දුරු රටේ

ඉන්නේ කෙලෙසද යන්න වේමැයි
වසත් කාලය එන නිසා
පසමිතුරු වුව කලකදී එය
උපන් බිම වේ ඒ මගේ

සමන්මලී අභයසිරි

2014 - 01 - 05


No comments:

Post a Comment