Sunday, March 23, 2014

ඔබ හිනැහේ නම් මමත් සිනාසෙන්නම්

ඔබ හිනැහේ නම් මමත් සිනාසෙන්නම්

=========================




චන්ද්‍රමඩුලු යට සුරංගනාවන්
දූ නළවන්නට ගීත ගයනවලු
එපා දුවේ ඔය කතා අහන්නට
මමයි නුඹට මේ ගීය ගයන්නේ

 ඇයයි  ගී ගයා මා නැළවූ සුරංගනාවිය
මා නිසා සිනාසුණු, මා නිසා හඬා වැටුණු, මා වෙනුවෙන් මාරයා හා වුවත් සටන් වදින්නට නොපැකිලුණු රාජිනිය
මගේ ලෝකය දිවා රෑ එකලු කල ඉර හා හඳ........


ඈ නමින් චිත්‍රා රංජනී වූවාය. 1969 - 2000 කාල වකවාණුවේ ගුවන් විදුලියේ කාලයක් නිතර ඇසී තවත් කලෙක වියැකී නැවත ඇසුණු හඬකි, නමකි. ඈ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක්, ගුවන් විදුලි සහන නිවේදිකාවක්, විචිත්‍රාංග ඉදිරිපත් කරන්නියක් වූවාය. ඇගේ හඬ ගුවන් විදුලියේ නිතර ඇසුණේ එහි ස්වර්ණමය යුගය ලෙස සැළකෙන රිජ්වේ තිලකරත්න යුගයේයි. ගිම්හාන ගීතය, මුවන්පැලැස්ස, ලන්දේසි දූපත, සුගන්ධිකා ආදී ගුවන් විදුලි නාට්‍ය වල හා ඒකාංගික වූ ගුවන් විදුලි රඟ මඬල, කෙටිකතාව ආදී නොයෙක් නිර්මාණ වල ඇගේ හඬ ඇසුණි. මහාචාර්ය නන්දදාස කොදාගොඩ වෛද්‍යතුමා හා බොහෝ කලක්  ඉදිරිපත් කල අපූරු වැඩසටහන් වලට ඈ හඬ එක් කලේ ඉතා සතුටින් බව මට මතකයි.

ගුවන් විදුලියේ City FM සේවය ආරම්භයේදීම එයට හඬ දුන් නිවේදිකාවන් අතර ඇයද කෙනෙකි.   සෑම ශනිදාම අලුයම 6 සිට 9  දක්වා ඇය සමග කමලිනි හා නොයෙලින් හොන්ටර් නිවේදිකාවන්  භාෂා තුනෙන් සේවාව මෙහෙයවූවා රසවත්ව.

 ගුවන් විදුලි නිවේදිකාවක් ශිල්පිනියක් වුණත් ඈ වෘත්තියෙන් ගණකාධිකාරිණියක් - ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ. ඒ ආයතනයට ඈ ආදරේ කලේ අපටත් වඩා. කොළොන්නාව නිමාවේ තෙල් ටැංකි වලට කොටි ප්‍රහාර එල්ල වෙද්දී ඈ හඬා වැටුණා මතකයි.

එපමණක් නොවේ ඈ  ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ස්වේච්ඡා දේශකවරියක් වූ අතර එහි තරුණ ජනගහණ කමිටුවේ සභාපති ධූරය හොබවමින් ජනගහන අධ්‍යාපනය බෙදමින් රට පුරා ගියේ මාද කැටුවයි. එනයින් මා වියතුන් සබා මැද රැඳ වූයේ ඇයයි.

ඉනුදු නොනැවතුනු ඇය නිර්මාණකරණයෙහි තවත් ඉම් කොන් සොයා යන්නී දැන්වීම් නියෝජිතවරියක් ලෙසද බොහෝ දෑ කලාය.

ගුවන් විදුලි නාටක වල බොහෝ විට ඇගේ චරිතය වූයේ ඉතා කට සැර,  දැඩි ඒවාමයි. ගිම්හාන ගීතයේ පියසීලි, මුවන්පැලැස්සේ තිසා, ලන්දේසි දූපතේ නීනි මිසී හා සුගන්ධිකා හී සුගලා බිසව තාමත් මතක ඇති කෙනෙක් ඇත්නම්?

නමුත් ඈ සැබවින්ම මුදු ගති ඇත්තියක් වූවාය. මුළු ලොවටම හැම දරුවෙකුටම ආදරය කළාය. බොහෝ දේ එකවිට කිරීමේ අපූරු හැකියාවක් හා දස්කමක්ද නොසිඳෙන ශක්තියක්ද ඈ වෙත ලැබුණේ කොයින්දැයි නොදනිමි.

ඉතා ආකර්ශණීය සිනාවක් නිරතුරුව මුව රැඳුන නිසාදෝ කොතැන ගියත් ඈ සිත් බැඳගන්නියක් වූවාය.
ඔසරියකින් සැරසී ඈ ස්වර්ණ හංසියක් සේ මේ දැනුත් මා නෙතෙහි මැවී පෙනේ, ඈ කඳුලින්  බොඳ  නොවෙන දසුනකි.

ජීවිතයේ සැඳෑ සමයට පිවිසීමට ඈ තුල තිබුණේ බලවත් අකමැත්තකි -" මේ රුවින් තොරව මා අන් අය දකිනවාට අකමැතියි"  පැතූ ලෙසටම සැඳෑ සමය ඈ වෙත පිවිසුනේ නැත, ඊට කලින් ඈ ඇගේ දිවියද අපද අතහැර  නව දිවියක් සොයා ගියාය.

2004 වසරේ දුරුතු මාසයේ 17 වැනිදා, ශනිදා පෙර සේම ආදරයද මුසුකොට උදේ ආහාරයට කිරිබත් පිස දුන් ඈ, ඉතා රසවත් දිවා ආහාරයක්ද පිසදී, ගේදොර හොඳින් අස් පස් කළාය.

" හ්ම්ම්...මහන්සියි වගේ...උගුරේ මොනවාද හිරවෙනවා" හවස 4 ට පමණ කියා ඈ ඇඳ මතට වූවා මතකයි. "අම්මා මට අවසරයි" ඇඳෙන් බැසගත් ඈ මගේ මිත්තණිය ගේ, එසේත් නැතිනම් ඇගේ මෑණියන්ගේ දෙපා  වැන්දේ නැවත නො එනා ගමන් යන්නට යැයි සිතුවේ කවුද? වෛද්‍යතුමා පැමිණෙන විට මේ සැම සිදුවී විනාඩි පහක් වත් ගියේ නැත. එහෙත් නාඩි ඇසුනේ නැතිලු ඔහුට. රෝහලට ඈ කැටුව ගිය අය නැවත, පැමිණියේ ඈ සමග නොවේ.

 ඒ පහන මා නෙතින් නිවී ගියා එදා නැවත නෙත් ඉදිරියේ නොදැල්වෙන සේ - අදින් දස වසකට පෙර මෙවන් දිනක .

අදින් දස වසකට පෙර අප හැර ගිය ඈ මගේ මෑණියන් වන  චිත්‍රා රංජනී ලංකාතිලකයි. ඇය දැන් සුගතිගාමීව  යහපත් නව දිවියක් අරඹා ඇතුවාට මට නම් සැකයක් නැත, ඈ කල පින් එලෙසයි, මෙපමණයි කිව නොහැකි බැවිනි.

 සතුට නිරතුරුව ඈ වටා සිටි බැවින්ද පැමිනි දුක ගැන තැවි තැවී ඉඳීම ඇගේ හුරුව නොවූ බැවින්ද මෙලොවත් තුටින් සිටි ඈ දැනුදු සතුටින් ඇතැයි සිතමි පතමි. ඈ නැති දුක මා වෙත ඇතිදු ඈ වෙනුවෙන් මා තුටු වෙමි.